දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Monday, June 12, 2017

19. සිත සනසන උදෑසනක්!!!



උදෑසන පිබිදුණු මම ජනේලයෙන් එළිය බැලුවෙමි. පුදුමයකි! ජනේලයෙන් එළිය බෑලූ මාහට පෙණුනේ ළා හිරු රැස් පොළොවට පතිත වන ආකාරයයි. ඒ සමඟම මට ඇසුණේ ඉතා මිහිරි කුරුලු ගීතයකි. කුරුලු මව හා පියා කෑම සොයන්නට ගොස් තවම නොආ නිසා කුරුලු පැටව් බයවී කෑගසති. ඒ සමඟම කිටියා ගසට නැග්ගේ කුරුලු පැටියෙක් කන අදහසිනි. ඒත් වැරදීමකින් කකුල ලෙස්සා ගොස් කිටියා බිමට වැටුණි. හිරු කුමරා පායත් ම මල් විකසිත වෙන්නේ හිරු කුමරා ට සිනාසෙන්නාක් සේ ය. උදෑසනම ආහාර සොයා ගෙන යන කුරුල්ලෝ අහසේ පියාසර කරති. පාට පාට සමනල්ලු ද උදෑසනින් ම පැමිණ මල්වල රොන් ගන්නේ මලට රහසක් කියන්නාක් මෙනි. උදෑසන පිබිදුණු කුකුලා “කුක්කු කූක් කූක්” යනුවෙන් හඬනඟා කියන්නේ තමා උදෑසනින්ම ඇහැරුණා යැයි සිතමිණි. ටික වේලාවකින් හිරු කුමරා මුළු ලෝකය එළිය කරමින් පායයි. එවිට පිබිදුණු ළමයි පාසල් යාමට සූදානම් වෙති. ඔවුන් සුදු ඇඳුම් ඇඳ පාරේ යනවිට සුදෝ සුදු කොක්කු රෑනක් යන්නාක් මෙනි. අහසේ පියාඹන සමහර කුරුල්ලෝ පියාඹන්නේ අහස්යානා මෙනි. උදෑසනම පාසලට ගිය ළමුන් මිදුල අතු ගානවිට නැගෙන ශබ්දය දසතම පැතිරෙයි. උදෑසන ම පිබිදුණු පන්සලේ නායක ස්වාමීන් වහන්සේ සන්සුන් ගමනින් පිඬු සිඟා වඩිනවා දුටු මගේ සිත සැහැල්ලු වුණි. උදෑසන අසිරිය පිළිබඳ වචනයෙන් විස්තර කර අවසාන කළ නොහැකිය. 

ප.ලි. චූටි දූ අෂානි නයනදීගෙ 6 වසරෙ (2016) පාසලේ දෙවන වාර පරීක්‍ෂණේ උත්තර පත්‍රයෙන්..

Monday, September 7, 2015

18. අම්මා 2



1. අම්මලා පුංචි දරුවන්ට හරිම ආදරෙයි.
2. අම්මා සැමදා උදෙන්ම නැගිටලා බත් උයා මාව පාසැල්යවයි.
3. මගේ අම්මා එකවෙලාවකට හොඳයි. ඒත් මම නරක වැඩක් කරොත් අම්මාට කේන්ති යනවා.
4. අම්මා වැඩට ගිහින් එනකං මම මග බලාගෙන ඉන්නවා.
5. අම්මා මම හරිම පුංචි කාලේ මට හරි ආදරෙයි දැනුත් අම්මා මට ආදරෙයි.
6. අම්මා අද වැඩට ගියේ හරි ලස්සන සාරියක් ඇඳගෙනයි.

                                     - නයනදී

ප.ලි. 2 වාක්‍යයේ පාසැල් යවයි ඈත් කරලා තිබ්බේ නෑ.  3 වාක්‍යයේ වාක්‍ය දෙකක් එකතු කරලා මැදට තිතක් තියලා. 4 වාක්‍යයේ එනකං කියලා බිංදුවක් දාලා..

ප.ප.ලි. මේ රචනාව ලියලා තියෙන්නෙ 2012 අවුරුද්දෙ මැයි 31 හා පුනි 7 අතර දවසක.. 2 පන්තියේදි....

Sunday, September 6, 2015

17. පොසොන් දවස


1. අපේ ගමේ පොසොන්එකට කූඩුවක් සාදා ඇත ඒ කූඩුවෙන් කියවෙන්නේ රන් වන් ගැනය.
2. පොසොන් පොහොයට තොරණක් සාදන්න අපේ ගෙදර අයියලා දෙදෙනෙක් ආවා ඒ අයියලාගේ තොරණ බලන්න අපිත් ගියා.
3. පොසොන් පොහොයට අහසේ සඳ බැබළි බැබළි පායා ඇත.
4. වෙසක් පොහොය වාගේම පොසොන් පොහොයත් අපි ඊයේ සැමරුවාය.
5. පොසොන් පොහොයට අපි සිල් ගත්තා ඒක නිසා අපිට පින්සිද්ද උණා.

                                 නයනදීගේ 2 වසර රචනා පොතෙන්

ප. ලි. පළමු වාක්‍යයේ රන්වන් කියන්නේ මොකක්ද දන්නෙ නෑ.. ගුරුතුමී යටින් ඉරක් ඇඳලා තිබ්බා.
දෙවන වාක්‍යයේ කියන්නේ ලොකු දූගෙ පාසල් වෑන් රියේ යන පුතෙක් එයාගෙ යාලුවෙක් එක්ක ආවා සීඩී එකක් ඉල්ලගන්න.. එයාලගෙ තොරණ පෙන්වද්දි දාන්න.. ඒක ගැනයි ඒ කියලා තියෙන්නේ..
හතරවන වාක්‍යයේ සැමරුවාය එකේ ය යන්න කපලා තිබ්බා තුරුතුමී.
පස්වන පේළියේ පින්සිද්ද වචනේ පින්සිද්ධ කියලා හදලා තිබ්බා..
 තවමත් මේ වාක්‍ය කීපයක් එකතු කරන ලෙඩේ තියේ.. වෙලාවකට කිසිම සමාන කමක් නැති වාක්‍ය එකතු කරද්දි තමා ඉතින්...


Friday, September 4, 2015

16. හාවා

හාවාගේ කන් හරිම දිගයි.
ඌ කැරට් කන්න වාගේම උඳුපියලිය කන්නත් හරිම ආසයි.
හාවන් කළු සුදු හා ඳුඹුරු කියන පාටයි සිටින්නේ.
උන් අපට දකින්න ඇත්තේ සත්තුවත්තේ හා කැළෑවේය.
හාවා මිනිසුන්ව දැක්කහම බයවෙලා දුවලා යයි.

නයනදී 2 වසරෙදි ලියූ රචනාවක්.....

Tuesday, June 17, 2014

15. මුව යාලූ මග පෙන් වූ

      චූටි දෝණිට එයාගෙ පන්තිභාර ගුරුතුමී කතන්දරයක් ලියන්න කියලා.. රෑ නිදිවරාගෙන ලියලා අක්කත් එක්ක චිත්‍ර ඇඳලා නංගි තනියම පාට ගාලා පොතහැදුවා...

අමාරුවෙන් සහයෝගෙන් හදාගත්ත පොත නිරපරාදෙ ගෙදර තියන්න ලෝබකමට මම උස්සන් ආවා..

ඈව සතුටු කරන්න නම් පුංචි වචනයක් ඈ හා අක්කණ්ඩිය වෙනුවෙන් කියන්න.. ඒ ඇති..


Monday, October 22, 2012

14. අප ගිය විනෝද චාරිකාව


‘මහියංගණං, නාගදීපං, කල්‍යාණං, පදලාංඡනං.......’ බුදුන් වැඩි ස්ථානයන්ගෙන් කිහිප ස්ථානයක් මේවා වෙයි. මෙයින් ප්‍රථමයෙන් බුදුරදුන් වැඩි ස්ථානය වන මහියංගනය වැද පුදා ගැනීමට පසුගියදාක අපේ ස.ණ.ස. සමීතියේ නැන්දලා, මාමලා සමඟ අපි චාරිකාවක යෙදුනෙමු.

නිල්වන් අහසේ ගෑවී නොගෑවෙන ලෙස කොළවන් තුරු ගොමු අතරින් ඈත දිදුලන තාරකාවක් සේ දිස් වෙමින් තිබෙන්නේ මහියංගන චෛත්‍ය රාජාණන් වහන්සේ යි. උදේ පාන්දර 4.00ට පමණ පිටත් වූ අපි පැය 6ක කාලයකින් පමණ පසු මහියංගණ වෙහෙරට යාමට හැකි වූ වෙමු. මහියංගණ පන්සල ට යැමට පෙර අප ශ්‍රී ලංකාවට ම එකක් වන දහඅට වංගු පසු කර යෑමට සිදුවිය. උඩ සිය පහත බලනවිට විශාල ප්‍රපාත පෙනෙයි. පහතින් නිල් සාගරයක් සේ පෙනෙන මහවැලි ගං රාජයන් උජාරුවෙන් අපදෙස බලන්නාක් මෙන් දියරැලි නංවයි. පහත බලනවිට සිත බියජනක කරන ලද මෙම පරිසරයේ අපූර්වත ම ජෛව විවධත්වයකින් ද හෙබි මෙම පෙදෙස වනාන්තර දෙකකින් ද සමන්විත වෙයි. දෙපෙසේ මුරකරුවන් මෙන් සිටින පයින්ගස්යාය ද ඉතා අලංකාරයි.

ඉන්පසු අපි මහියංගණය පුද භූමියට පැමිණ එය වන්දනාමාන කොට දිවා ආහාරය ගත්තෙමු. ඉන්පසු අපි දුටුගැමුණු රජු හට දිනකට හත්වරක් බුලත් සැපයූ බුලතා යෝධයාගේ අති දැවැන්ත නිර්මාණයක් වූ ද සොරබොර වැව නැරඹීමට ගියෙමු. බොහෝ වේලා වැව දෙස බලාසිටි මගේ සිතේ එදා සිටි ජාතික වීරයන්ගේ අභිමානයන් අද ජීවත් වී සිටින කාලය කා දමන මිනිසුන් වැනි නො වූ බුලතා යෝධයාගේ තේජාන්විත භාවයත් මැනවින් විදහා දැක්වෙයි. එදා සිටි බුලතා දිය ගලායන ඇළ පාරක් දැක එය හරහා වේල්ලක් බැඳ එය වැවක් ලෙස සෑදුවේ ය.  ඔහුගේ යෝධ බිරිඳද තම සැමියාට උදව්වක් පිණිස විශාල ගල් පඩිපෙළක් තැනුවේ ය. මෙවන් අපූර්ව වූ සොරබොර වැව් රාජයන් ගෙන් අපි බලාපොරොත්තු වන්නේ තවත් අවුරුදු දස දහස් ගණනක් වැජඹෙමින් කෙත් වතු සරුසාර කරමින් එදා සිටි ජාතික විරුවන්ගේ තේජාන්විත භාවය තවදුරටත් රකිමින් මේ පුංචි ලක්බිමේ ජීවත් වෙන ලෙසට වෙමු. අපි මෙම ස්ථානයෙන් නැවතත් ගමන ආරම්භ ‍කළෙමු.

‘පොච්ච නමකින් පොච්ච තැවුවත් ගම් පොජ්ජෙන් මං ගච්චනවා කොදොයි’ ඒ එදා සිටි වැදි විරුවන්ගේ කියමනක් වෙයි. අපේ රට පළමුවන රජතුමා වන විජය රජුගේ සහ එදා කපු කටිමින් සිටි කුවේණිය ගේ පුතු සහ දුවණියගෙන් පැවත එන්නා යැයි කියන වැදි පරපුර අප පැරැන්නගේ අභිමානය කියාපාන තවත් අංගයකි. දුනු ඊතල යනු පෙර කළ සිට ම පැවත ආයුධ දෙකයි. සත්ව දඩයමින් ජීවත්වන වැදි ජනයා සරල ජීවිතයක් ගෙවයි. ඈත අතිතය සිට ම පැවත එන මෙම පැදි ජාතිය සැමදා පැවතේවා යි අපි පාර්ථනා කරමු.

මෙතරම් සුන්දර වූත් අලංකාර වූත් ඉතිහාස කථා බොහෝමයකින් පැවත එන මෙම මහියංගන රාජධානිය හා ඒ අවට ස්ථාන තව ඉදිරියටත් වැජඹේවා යි මම ප්‍රාර්ථනා කරමි.


                                                - සචින්තා


Tuesday, October 16, 2012

13. මගේ අනාගත බලාපොරොත්තුව



“මේ ඉස්කෝලෙ දි හොඳින් ඉගෙනගෙන රටට වැඩක් ඇති හොඳ දරුවෙක් වෙන්නම්” පුංචි මල් කැකුළු මෙන් ආකාසේ පායා දිලිහි දිලිහි බැබළෙන තරු මෙන් ලොව බඹලන්නට වෙර දරනා පුංචි මගේ ලොකු ම බලාපොරොත්තුව විශ්වයේ ආකාසේ තිබෙන අපූර්වත ම දේවල් සොයා ගැනීමටයි.

එදා නීල් විරුව හඳට පාතබා හඳ මත තිබුණ විවිධ දේවල් පෘථිවියට රැගෙන පැමිණියේය. එමෙන් ම ම‍ට ද විවිධ ග්‍රහලෝක වෙතට පාතබා ඒවාගේ සිටින පිටසක්වල ජීවීන් සමඟ කථා කිරීමට මම ද කැමති වෙමි. කවර දාක හෝ විභාග  ඉහළින් ම සමත් වී විද්‍යාඥයකු වී අර රෑට බබළන තරු මෙන් බොහෝ ඇත සැඟ වි තිබෙන තාරකාවක් ද සොයාගෙන එම තාරකාවට මගේ නම යොදා ලොව සුපතල විදයාඥයෙක් වීම මගේ එක ම බලාපොරොත්තු ව වෙයි.

එමෙන් ම පුංචි කළ සිට මා හදා වඩා ගෙන පෝෂණය කර මා මේ තත්වයට පත්කළ මගේ ආදරණීය අම්මටයි තාත්තටයි දුකක් නොදී මම හොඳට රැක බලා ගැනීම ද මගේ බලාපොරොත්තු වක්ය. අහස් ගැබේ රෑ අහසේ දිලිහෙන ග්‍රහලෝක, වල්ගා තරු තාරකා. වාමන ග්‍රහයින්, මිනිස් නිශ්පාදන වුව ද චන්ද්‍රිකා අහස ආලෝකමත් කිරීමට බෙහෙවින් උපකාර වෙයි. ඒ වගේම වෙන මිනිසුන් ලෙඩ සෑදුණු මිනිසුන්ට පිහිටවීම පිණිස වෛද්‍යවරු වීමට වෙර දරයි. තවත් සමහරු දැයේ දරුවන්ගේ නැනැස් පෑදීමට වෙර දරයි. තවත් සමහරු විශාල වශයෙන් මුදල් උපයාගැනීමට උත්සාහ කරයි. එහෙත් කුඩා පිරිසක් පමණක් ලොව මිනිසුන් නොදත්, සොයා නොගත් ග්‍රහලෝක වාමන තරු සොයමින් ඒ වාගේ ගමන් විලාශ නරඹමින් විනෝදයෙන් මෙන් ම විවේකයෙන් කාලය ගෙවීමට මම ද කැමතියි. බොහෝ වෙහෙස මහන්සි වී මුදල් උපයාගෙන ගේ දොර ඉඩම් කඩම් පොදි බැඳ ගැනීමට වඩා අභ්‍යවකාශ ගවේශන වැඩ වල නියැලී නිදහසේ සිටීමට මම බොහෝ සේ කැමතියි.

මම අනාගතයේ දී තරුවක් සොයාගෙන එයට “Tishani2000” යන නාමය යොදනවා. මෙවන් වැදගත් කාර්යයක් මතුදාක සඵල කිරීමට මම අද සිට උත්සාහ දරනවා. 

මම කෙදිනක දී හෝ ආකාසේ ලස්සන සළු ඇඳි සුරඟනු, පියඹන පීරිසියේ මෙහි ආපු පිටසක්වලයින් සොයා ගෙන කිසි දා නොමැරෙන නාමයක් සනිටුහන් කරමි.


                                                                                                             - සචින්තා