දෙනයන

ටිෂානි සචින්තා ගමලත්
අෂානි නයනදී ගමලත්

Monday, October 22, 2012

14. අප ගිය විනෝද චාරිකාව


‘මහියංගණං, නාගදීපං, කල්‍යාණං, පදලාංඡනං.......’ බුදුන් වැඩි ස්ථානයන්ගෙන් කිහිප ස්ථානයක් මේවා වෙයි. මෙයින් ප්‍රථමයෙන් බුදුරදුන් වැඩි ස්ථානය වන මහියංගනය වැද පුදා ගැනීමට පසුගියදාක අපේ ස.ණ.ස. සමීතියේ නැන්දලා, මාමලා සමඟ අපි චාරිකාවක යෙදුනෙමු.

නිල්වන් අහසේ ගෑවී නොගෑවෙන ලෙස කොළවන් තුරු ගොමු අතරින් ඈත දිදුලන තාරකාවක් සේ දිස් වෙමින් තිබෙන්නේ මහියංගන චෛත්‍ය රාජාණන් වහන්සේ යි. උදේ පාන්දර 4.00ට පමණ පිටත් වූ අපි පැය 6ක කාලයකින් පමණ පසු මහියංගණ වෙහෙරට යාමට හැකි වූ වෙමු. මහියංගණ පන්සල ට යැමට පෙර අප ශ්‍රී ලංකාවට ම එකක් වන දහඅට වංගු පසු කර යෑමට සිදුවිය. උඩ සිය පහත බලනවිට විශාල ප්‍රපාත පෙනෙයි. පහතින් නිල් සාගරයක් සේ පෙනෙන මහවැලි ගං රාජයන් උජාරුවෙන් අපදෙස බලන්නාක් මෙන් දියරැලි නංවයි. පහත බලනවිට සිත බියජනක කරන ලද මෙම පරිසරයේ අපූර්වත ම ජෛව විවධත්වයකින් ද හෙබි මෙම පෙදෙස වනාන්තර දෙකකින් ද සමන්විත වෙයි. දෙපෙසේ මුරකරුවන් මෙන් සිටින පයින්ගස්යාය ද ඉතා අලංකාරයි.

ඉන්පසු අපි මහියංගණය පුද භූමියට පැමිණ එය වන්දනාමාන කොට දිවා ආහාරය ගත්තෙමු. ඉන්පසු අපි දුටුගැමුණු රජු හට දිනකට හත්වරක් බුලත් සැපයූ බුලතා යෝධයාගේ අති දැවැන්ත නිර්මාණයක් වූ ද සොරබොර වැව නැරඹීමට ගියෙමු. බොහෝ වේලා වැව දෙස බලාසිටි මගේ සිතේ එදා සිටි ජාතික වීරයන්ගේ අභිමානයන් අද ජීවත් වී සිටින කාලය කා දමන මිනිසුන් වැනි නො වූ බුලතා යෝධයාගේ තේජාන්විත භාවයත් මැනවින් විදහා දැක්වෙයි. එදා සිටි බුලතා දිය ගලායන ඇළ පාරක් දැක එය හරහා වේල්ලක් බැඳ එය වැවක් ලෙස සෑදුවේ ය.  ඔහුගේ යෝධ බිරිඳද තම සැමියාට උදව්වක් පිණිස විශාල ගල් පඩිපෙළක් තැනුවේ ය. මෙවන් අපූර්ව වූ සොරබොර වැව් රාජයන් ගෙන් අපි බලාපොරොත්තු වන්නේ තවත් අවුරුදු දස දහස් ගණනක් වැජඹෙමින් කෙත් වතු සරුසාර කරමින් එදා සිටි ජාතික විරුවන්ගේ තේජාන්විත භාවය තවදුරටත් රකිමින් මේ පුංචි ලක්බිමේ ජීවත් වෙන ලෙසට වෙමු. අපි මෙම ස්ථානයෙන් නැවතත් ගමන ආරම්භ ‍කළෙමු.

‘පොච්ච නමකින් පොච්ච තැවුවත් ගම් පොජ්ජෙන් මං ගච්චනවා කොදොයි’ ඒ එදා සිටි වැදි විරුවන්ගේ කියමනක් වෙයි. අපේ රට පළමුවන රජතුමා වන විජය රජුගේ සහ එදා කපු කටිමින් සිටි කුවේණිය ගේ පුතු සහ දුවණියගෙන් පැවත එන්නා යැයි කියන වැදි පරපුර අප පැරැන්නගේ අභිමානය කියාපාන තවත් අංගයකි. දුනු ඊතල යනු පෙර කළ සිට ම පැවත ආයුධ දෙකයි. සත්ව දඩයමින් ජීවත්වන වැදි ජනයා සරල ජීවිතයක් ගෙවයි. ඈත අතිතය සිට ම පැවත එන මෙම පැදි ජාතිය සැමදා පැවතේවා යි අපි පාර්ථනා කරමු.

මෙතරම් සුන්දර වූත් අලංකාර වූත් ඉතිහාස කථා බොහෝමයකින් පැවත එන මෙම මහියංගන රාජධානිය හා ඒ අවට ස්ථාන තව ඉදිරියටත් වැජඹේවා යි මම ප්‍රාර්ථනා කරමි.


                                                - සචින්තා


Tuesday, October 16, 2012

13. මගේ අනාගත බලාපොරොත්තුව



“මේ ඉස්කෝලෙ දි හොඳින් ඉගෙනගෙන රටට වැඩක් ඇති හොඳ දරුවෙක් වෙන්නම්” පුංචි මල් කැකුළු මෙන් ආකාසේ පායා දිලිහි දිලිහි බැබළෙන තරු මෙන් ලොව බඹලන්නට වෙර දරනා පුංචි මගේ ලොකු ම බලාපොරොත්තුව විශ්වයේ ආකාසේ තිබෙන අපූර්වත ම දේවල් සොයා ගැනීමටයි.

එදා නීල් විරුව හඳට පාතබා හඳ මත තිබුණ විවිධ දේවල් පෘථිවියට රැගෙන පැමිණියේය. එමෙන් ම ම‍ට ද විවිධ ග්‍රහලෝක වෙතට පාතබා ඒවාගේ සිටින පිටසක්වල ජීවීන් සමඟ කථා කිරීමට මම ද කැමති වෙමි. කවර දාක හෝ විභාග  ඉහළින් ම සමත් වී විද්‍යාඥයකු වී අර රෑට බබළන තරු මෙන් බොහෝ ඇත සැඟ වි තිබෙන තාරකාවක් ද සොයාගෙන එම තාරකාවට මගේ නම යොදා ලොව සුපතල විදයාඥයෙක් වීම මගේ එක ම බලාපොරොත්තු ව වෙයි.

එමෙන් ම පුංචි කළ සිට මා හදා වඩා ගෙන පෝෂණය කර මා මේ තත්වයට පත්කළ මගේ ආදරණීය අම්මටයි තාත්තටයි දුකක් නොදී මම හොඳට රැක බලා ගැනීම ද මගේ බලාපොරොත්තු වක්ය. අහස් ගැබේ රෑ අහසේ දිලිහෙන ග්‍රහලෝක, වල්ගා තරු තාරකා. වාමන ග්‍රහයින්, මිනිස් නිශ්පාදන වුව ද චන්ද්‍රිකා අහස ආලෝකමත් කිරීමට බෙහෙවින් උපකාර වෙයි. ඒ වගේම වෙන මිනිසුන් ලෙඩ සෑදුණු මිනිසුන්ට පිහිටවීම පිණිස වෛද්‍යවරු වීමට වෙර දරයි. තවත් සමහරු දැයේ දරුවන්ගේ නැනැස් පෑදීමට වෙර දරයි. තවත් සමහරු විශාල වශයෙන් මුදල් උපයාගැනීමට උත්සාහ කරයි. එහෙත් කුඩා පිරිසක් පමණක් ලොව මිනිසුන් නොදත්, සොයා නොගත් ග්‍රහලෝක වාමන තරු සොයමින් ඒ වාගේ ගමන් විලාශ නරඹමින් විනෝදයෙන් මෙන් ම විවේකයෙන් කාලය ගෙවීමට මම ද කැමතියි. බොහෝ වෙහෙස මහන්සි වී මුදල් උපයාගෙන ගේ දොර ඉඩම් කඩම් පොදි බැඳ ගැනීමට වඩා අභ්‍යවකාශ ගවේශන වැඩ වල නියැලී නිදහසේ සිටීමට මම බොහෝ සේ කැමතියි.

මම අනාගතයේ දී තරුවක් සොයාගෙන එයට “Tishani2000” යන නාමය යොදනවා. මෙවන් වැදගත් කාර්යයක් මතුදාක සඵල කිරීමට මම අද සිට උත්සාහ දරනවා. 

මම කෙදිනක දී හෝ ආකාසේ ලස්සන සළු ඇඳි සුරඟනු, පියඹන පීරිසියේ මෙහි ආපු පිටසක්වලයින් සොයා ගෙන කිසි දා නොමැරෙන නාමයක් සනිටුහන් කරමි.


                                                                                                             - සචින්තා

Friday, October 5, 2012

12. මගේ ගුරුතුමා/ගුරුතුමී

1. මගේ ගුරුතුමීගේ නම සෙනෙහෙලතාය.
2. ඇය අපට ගැහුවාට බැන්නාට හරිම කරුණාවන්තයි.
3. මගේ ගුරුතුමීට කවි හා නැටුම් හොඳට හුරුයි.
4. එයාගේ අම්මා ඇයට කියාදුන් කථා ඇය අපට කියාදෙනවා.
5. ගුරුතුමී හැමදාම ලස්සන ලස්සන සාරි ඇදන් එනවා.
6. මගේ ගුරුතුමීට බුදුසරණයි.
                                                                 - නයනදී

ප.ලි. 3 පේළියෙන් අදහස් කරන්නේ කවි කියන්න හා නටන්න ගුරුතුමීට හොඳට පුළුවන් කියලා වෙන්නැති.


අකුරු සතර ආදරයෙන් මා වෙත දුන්නා
මගේ කුසලතා ආකල්ප ද දියුණුම කෙරුවා
දුවේ පුතේ කියා මා වෙත සෙනෙහස පිදුවා
සැමදා වඳිමි ඔබේ පා යුග මගේ ගුරුතුමා

                                                                                          - සචින්තා

ප.ලි. අන්තිම පේළියේ දීර්ඝ ඉස්පිල්ල නොතිබුනානම් හරි..

ප.ප.ලි. අද ලෝක ගුරු දිනයළු... මේ දක්වා මා දියණියන් දෙදෙනාට අකුරු කරවූ සියළු ගුරුතුමන්ලාට තවත් චිරාත් කාලයක් දහස් සංඛ්‍යාත දූ දරුවන් පිරිසකගේ නැණ නුවණ දියුණු කිරීමට හැකිවේවා! යි පතමි.